2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

මාගම්පුර කුණාටුව

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 131

හම්බන්තොට වරාය 2010 වසරේ නොවැම්බර් 18 වැනිදා විවෘත වන්නේ නැතහොත් ජනතාවට තිළිණ කරන ලද්දේ මහින්දගේ 65 වැනි උපන්දිනයට සමගාමීවය. ආරම්භක උළෙල ඉතාම දැකුම්කළු උත්සවයක් විය. ඊට කළ වියදම රුපියල් මිලියන 100කට අධික වූ බවත් එය දරණු ලැබුවේ රජය විසින් බවත් ඒ කාලයේම ප්‍රකාශ වී තිබුණේය. එය විවෘත වූයේ බාගෙට හැදූ මට්ටමකදීය. ඉදිරි කටයුතු කරගෙන යද්දී වරායේ පිවිසුමේ පතුලේ තිබී හමුවූ මහා ගල් පර්වතයක් කඩා බිඳ දැමීම සඳහා චීනයෙන් ඩොලර් මිලියන 40ක (රුපියල් කෝටි 600ක් පමණ) තවත් ණයක් ලබාගැනීමට රජයට සිදුවී තිබුණි.

චීනය සමඟ සාර්ථක දේශපාලන ගනුදෙනුවක නිරතව සිටි මහින්ද ඩොලර් බිලියන 1.4ක (රුපියල් කෝටි 21,000ක්) ණයක් චීනයෙන් ලබාගෙන වරාය හැදුවේ චයිනීස් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියුම් ආයතනයේ සහාය ඇතුවය. එය මහින්දගේ දේශපාලන රාජධානිය වූ හම්බන්තොට ලොකුම ෂෝපීස් එක විය. මත්තල ගුවන්තොටුපොළටත් වඩා හොඳ ප්‍රදර්ශන භාණ්ඩයක් වූ මාගම්පුර වරාය ඉන්පසුව පැවැත්වූ හැම ඡන්දයකදීම මහින්ද හොඳට මාකට් කළේය. එයට නැව් එකවර නොපැමිණෙන බව පෙනෙන විට මහින්ද කළේ කොළඹ වරායේ එතෙක් වාහන ගොඩබෑ නැව්වල මෙහෙයුම් කටයුතු හම්බන්තොට වරායෙන් සිදුකළ යුතු බවට නියෝග පැනවීමය. නැව් මෙහෙයුම් කටයුතු සඳහා කොළඹ වරායෙන් යැවුණු පුහුණු සේවක පිරිසට අමතරව හම්බන්තොට ප්‍රදේශ‍ෙයන්ද පිරිසක් බඳවාගෙන ඔවුන්ටද පුහුණුව ලබාදීමටද කටයුතු කෙරිණි. ප්‍රති අපනයන කටයුතු සඳහා වුවද මාගම්පුර වරායට පැමිණෙන නැව් ඉතා විශාල ඒවා වූ බැවින්, මත්තල ගුවන් තොටුපොළ මෙන් නොව වරාය නිතරම ක්‍රියාශීලී බවක් පෙන්නුම් කළේය.

හම්බන්තොට වරායට සේවකයන් බඳවාගෙන පුහුණු කළද ඔවුන් වරාය අධිකාරියට අනුයුක්ත කිරීමට මහින්දගේ ආණ්ඩුව ක්‍රියා කළේ නැත. පසුගිය 07 වැනිදා සිට ආරම්භ කළ වැඩවර්ජනය සිදුකළේ එදා මහින්දගේ පාලනය යටතේ කළමනාකරණ සමාගමක් හරහා බඳවාගනු ලැබූ එම සේවක පිරිස්ය. අද මහින්ද කියන්නේ තමා බලයට ආවොත් හම්බන්තොට වරායේ සේවකයන් වරාය අධිකාරියට බඳවා ගන්නා බවය. අද එහෙම කිව්වත් තමන්ට බලය තිබූ කාලයේ මහින්ද ඔවුන් අධිකාරියට බඳවා නොගත් බව සේවක පිරිස නොදැන සිටීමට හේතුවක් නැත.

හම්බන්තොට වරායේ සේවක පිරිස විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය සහ උද්ඝෝෂණ ව්‍යාපාරය පසුගිය 15 වැනිදා අවසන් කරනු ලැබීය. මාගම්පුර වරාය කළමනාකරණ (පෞ) සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් සියලුම සේවක සේවිකාවන් වෙත සිදුකරන ලද දැන්වීමකින් පසුව වර්ජනය අවසන් වී තිබිණි. එම දැන්වීමේ සඳහන්ව තිබුණේ 15 වැනිදා දහවල් 2.00ට පෙර වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සළකා අලුතින් සේවක පිරිස් බඳවා ගන්නා බවය. මේ සම්බන්ධව පැවැති සාකච්ඡාවලින් පසුව වර්ජනය අවසන් කිරීමට වැඩවර්ජනය මෙහෙයැවූ වෘත්තීය සමිති තීරණය කර තිබිණි.

මේ වැඩවර්ජනය රටටම දැනෙන ලෙස ක්‍රියාත්මක කෙරුණේ නැව් දෙකක් වරායෙන් පිටතට ගත නොහැකි වන සේ කටයුතු සිදුකෙරී තිබීම හේතුවෙනි. ඊළඟට එම ප්‍රශ්නය රටට පමණක් නොව ලෝකයටම දැනෙන සේ ඇදී ගියේ නැව් දෙක මුදාගැනීමේ මෙහෙයුමේදී එම සිද්ධිය ආවරණය කරමින් රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදියකුට නාවික හමුදාපතිවරයා පහරදීමේ සිද්ධියත් සමගිනි. අද වනවිට සේවක වර්ජනය අවසන් වී තිබුණද මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියට විරෝධය පෑමේ මාධ්‍ය සංවිධානවල උද්ඝෝෂණ තවමත් එසේම පවතී.

මෙහිදී සැලකිය යුත්තේ වරාය සේවක වැඩවර්ජනයට මුල පිරුණේ හම්බන්තොට වරාය කළමනාකරණය චීන සමාගමකට පැවැරීමේ රජයේ තීන්දුව ප්‍රකාශ වීමත් සමගින් වීමය.

මෛත්‍රීපාල - රනිල් ආණ්ඩුවත් චීනය සමඟ ගනුදෙනුවලට එකඟවන තත්ත්වයක් යටතේ ඇරුඹූ මෙවැනි වැඩ වර්ජනයක පසුබිමේ දේශපාලන අරමුණු තිබුණු බවට සමහරු සැක පහළ කරති. තවත් අතකින් රජය සමඟ හවුල් පාලනයකට එකතු වන චයිනා මර්චන්ට්ස් සමඟ ඇති කරගත් ගිවිසුම ගැන වරාය භාර ඇමති වන අර්ජුන පවා දැනගත්තේ අන්තිම මොහොතේදී බවද කියයි. අර්ජුනද මේ ගිවිසුම ගැන මුලින් දැඩි ලෙස විරෝධය පෑවත් වර්ජනය අවසන් කරගැනීම සඳහා දැඩි තීන්දු ගත් බව පෙනෙන්නට තිබිණි. ඔහු මුලින් දැක්වූ විරෝධයේ සෙවණැල්ලක්වත් දැන් පෙනෙන්නට නැත.

කෙසේ වුවද නාවික හමුදාපතිවරයා මේ සිද්ධියේදී මාධ්‍යවේදියකුට පහරදීම රජය ඇතුළේද මතභේද ඇතිකරවූ සිද්ධියක් බවට පත්වෙමින් තිබේ. කරු පරණවිතාන නියෝජ්‍ය ඇමැතිගේ ප්‍රකාශය ඊට සාක්ෂි සපයයි. එසේම ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලදී ශ්‍රීලනිප මැති ඇමැතීන් කීප දෙනෙකු යූ.එන්.පී.යට පහරදීමත් යූ.එන්.පී. මැති ඇමැතින්ලා ශ්‍රීලනිපයට පහරදීමත් පසුගිය සති දෙක තුන තුළදීම දැකගත හැකි විය. හම්බන්තොට වරාය ගැටලුව ගැනද මතවාද ගණනාවක් තිබෙන බව පෙනෙන්නට තිබේ.

රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධීකරණය හරහා චයිනා මර්චන්ට්ස් සමාගමට හම්බන්තොට වරාය කළමනාකරණය බාරදීමට ඇති සූදානම රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වූ අවස්ථාවේ පටන් එයට එරෙහිව ප්‍රබල මත දැක්වීමක් ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් සිදු කෙරුණේය. ලංකාවෙන් කෑලි චීනයට විකුණන බවට චෝදනා එල්ල විය. හම්බන්තොටින් අක්කර 15,000ක් ආයෝජන කලාපයක් සඳහා චීනයට ලබාදෙන බවට වූ යෝජනාවද එවැනිම විරෝධයකට ලක්විය. එම භූමි ප්‍රදේශය වරාය ආසන්නයේ පිහිටා තිබෙන්නකි. 

මේ යෝජනා එළියට ආ අවස්ථාවේ පටන් මහින්දත් ඔහු වටා සිටින සමීප දේශපාලන, සගයනුත් එයට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුකිරීම කැපී පෙනිණි. ඔවුන් කියා සිටියේ රජය රටේ ආර්ථික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් මහා ද්‍රෝහීකමක් සිදුකරන බවය.

හම්බන්තොට වරායේ සේවක අරගලය පසුපස මහින්දලා රැඳී සිටින බවට රජය සැක කරන්නේ මේ කරුණු ගලපාගෙන විය යුතුය. 2012 වසරේදී හම්බන්තොට අවටින් සේවයට බඳවාගනු ලැබූ බව කියන මේ පිරිස නිල් බළකායට අයත් නාමල් රාජපක්ෂගේ ආධාරකරුවන් බවද කියයි.

වැඩවර්ජනය පැවැති කාලය තුළදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබාදීමට පවා පිරිසක් ක්‍රියාකළ බවද ඒ අතර නාමල්ට හිතවත් බිම් මට්ටමේ දේශපාලනඥයෝ ගණනාවක් සිටි බවත් කියති. මේ වැඩවර්ජකයන් වෙනුවෙන් පෙනී සිටි එක් දේශපාලනඥයකු වූයේ නාමල්ය. අයවැය විවාදයේදී හම්බන්තොට වරාය වසරක් තුළ බිලියනයක ආදායමක් උපයා ඇති බවත් එවැනි ආදායමක් තිබෙන රාජ්‍ය සම්පතක් චීනයට විකුණා දැමීමට ක්‍රියාකරන්නේ ඇයිද යන්නත් නාමල් ප්‍රශ්න කර තිබුණේය. නමුත් හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට චීනය සුවිශේෂ කැමැත්තක් දක්වන බවත් එය මහින්දලා නැතිනම් මෛත්‍රීපාල - රනිල්ලා හරහා වුවද සිදුකිරීමට පසුබට නොවන බවත් චීනය පෙන්වා දී තිබේ. රාජපක්ෂලා එයට දැඩි ලෙස අකැමැත්තක් දක්වන බව පැහැදිලිය.

මහින්දගේ කාලයේ රටට හඳුන්වා දෙනු ලැබූ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග් ආයතනය මේ වනවිට ලංකාවේ ප්‍රධාන පෙළේ වැඩකරුවෙක් වී සිටී. කොළඹ වරායේ විශාල ලෙස ලාබ ලබන දකුණු කන්ටේනර් පර්යන්තයේ මෙහෙයුම් සිදු කරන්නේද එම ආයතනය මගිනි. කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්ත (CICT) සමාගම සමඟ ඒකාබද්ධව එම මෙහෙයුම් ඔවුහු සිදුකරති. වරාය අධිකාරියට අනුබද්ධිත සමාගමක් වන CICT අයිතියෙන් 85෴ක කොටස් චයිනා මර්චන්ට්ස් සමාගම සතුය. හම්බන්තොට වරාය මෙහෙයුම්වල ඔවුන්ගේ අයිතිය 80෴කි.
මේ අනුව වරාය අධිකාරිය CICT මෙහෙයුම්වලින් දැනට 15෴ක ලාභයක් ලබාගන්නා අතර ඉදිකොට මෙහෙයවා ආපසු පවරන (BOT) ගිවිසුම වසර 35ක් ක්‍රියාත්මක වීමට නියමිතය.

වරාය සහ මෙහෙයුම් පිළිබඳව විශේෂඥ දැනුමැති පිරිසක් පැවසුවේ හොඳින් ලාබ ලැබිය හැකි මට්ටමින් වරායවල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චයිනා මර්චන්ට්ස් සමාගමට සාර්ථකත්වය තහවුරු කළ හැකි පසුබිම් වාර්තාවක් තිබෙන ‍බවය. හම්බන්තොට වරායේ 80෴ක කොටසක ලාභාංශ පැවතුණත් මින් ඉදිරියට එහි කිසිදු ආයෝජනයක් සිදු නොකර 20෴ක ලාභාංශයක් උපයා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැකිවන බවද මේ ව්‍යාපාරය තුළ චයිනා මර්චන්ට්ස් යනු යෝධයකු බවද ඔවුන්ගේ මතයයි.

කෙසේ වුවද ගැටලුව ඇත්තේ එතැන නොව, මේ ගිවිසුමට මෛත්‍රීපාල - රනිල් ආණ්ඩුව ප්‍රවේශ වූ ආකාරය සම්බන්ධයෙන් බව තවත් සමහරුන්ගේ මතය වී තිබේ. අප කළින්ද සඳහන් කළ පරිදි වරාය භාර ඇමැතිවත් මේ ගිවිසුමේ කොන්දේසි ගැන හාංකවිසියක් හෝ මුලින් දැන සිටියේ නැත. ගිවිසුම සකස් වූ ආකාරයේ කිසිදු පාරදෘශ්‍යභාවයක් තිබුණේ නැත. එසේම මෙකී ගිවිසුම සම්බන්ධයෙන් ස්වාධීන නිරීක්ෂණ වාර්තාවක් ලබාගත්තාද යන්නත් සැක සහිතය.

මෙවැනි ගිවිසුම් පිළිබඳ විශේෂඥයකු පැවසුවේ අදාළ පාර්ශ්වය විසින් ඔවුන්ගේ යෝජනා මාලාව ඉදිරිපත් කිරීමෙන් පසුව ක්ෂේත්‍රය පිළිබඳව හොඳ හැදෑරීමක් ඇති ස්වාධීන ආයතනයක් ලවා විකල්ප යෝජනාවලියක් සකස් කරගත යුතු බවය. මේ යෝජනා දෙක මැදිහත්ව විමසා බලා අවසන් ගිවිසුම සකස් කළ යුතු බවය. නමුත් චයිනා මර්චන්ට්ස් - හම්බන්තොට වරාය ගිවිසුමේ එසේ සිදුවීදැයි දැනගන්නට නැත. මේ හේතුවෙන් අනාගත අවදානමක්ද අතැතිව මේ ගිවිසුමට එකඟත්වය පළ කෙරෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

රජය හම්බන්තොට තක්සේරු මුදල වශයෙන් එය ඉදිකිරීමට වැය වූ ඩොලර් බිලියන 1.4 පමණක් සළකා ඇතැයිද වරාය පසුගිය වසර හය තිස්සේ උපයා ඇති මුදල හෝ වරාය හේතුවෙන් සිදුවී ඇති සෙසු සුබවාදී වෙනස්කම් ගණනය කර නැතැයිද පැවැසේ. එහෙත් තවත් විශේෂඥයකු පවසන්නේ එවැනි හෙට්ටු කිරීමකට රජය සූදානම් වී නම් ලැබෙන අවස්ථාවද අහිමි වී යාමට ඉඩ තිබූ බවයි.

කෙසේ වුවද මේ සමස්ත සිදුවීම විසින් පෙන්නුම් කරන ප්‍රබල දේශපාලන සංඥාව නම් මහින්ද රාජපක්ෂ යළි බලයට ඒමට දරණ උත්සාහ අඩපණ කර දැමීමට ආණ්ඩුවට තවමත් නොහැකි වී ඇති බවය. හම්බන්තොට වරාය තුළ මහා විශාල නැවක් ප්‍රාණ ඇපයට ගැනීම ලෙහෙසියෙන් අතහැරිව යුතු සිද්ධියක් නොවන බව ඕනෑම දේශපාලනඥයකු තේරැම් ගත යුතුය. එවැන්නක් සිදුවූ ආරම්භක අවස්ථාවේ එය මැඩ පැවැත්වීමට රජය සමත් වූයේ නැත. වැඩේ නැවතුණේ මාධ්‍යවේදියකුට කළ ප්‍රහාරය සමඟ රජය විශාල කළු පැල්ලමක්ද ඇති කරගනිමිනි. මේ සිදුවීම මහින්දත් තමන්ගේ වාසියට හරවා ගෙන ඇති බව පෙනෙන්නේ ඔහු හම්බන්තොට ගැන කියන කතාවලට රජයද නිහඬව සිටීම හේතුවෙනි.

එසේ නමුත් ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අගමැති රනිල් කියා තිබුණේ මහින්දට යළි බලයට පැමිණීමට හැකියාවක් නැති බවය. ජාතික ආණ්ඩුව සාර්ථක වනවිට මහින්ද අසාර්ථක නායකයකු බව ජනතාව තීරණය කරනු ඇතැයිද ඔහු කියා තිබිණි.

මේ හැම සිදුවීමක්ම මෛත්‍රීපාල - රනිල් පාලනයේ පැවැත්මට අහිතකර ලෙස බලපෑහැකි සාධකය. වසර දෙකක පාලනය සමරන්නට සුදුසුකම් වන සම්මුතිවාදී ආණ්ඩුවේ දෙපාර්ශවයෙන්ම ඇසෙන්නේ විසම්මුතිවාදී අදහස් බව පෙනෙන්නට තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (15) කොළඹ ඩාලි පාරේ ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ෆයිසර් මුස්තාෆා ඇමැති කිව්වේ යු.එන්.පී.ය මෛත්‍රීට පොදු අපේක්ෂකත්වය දුන්නේ ඔහුට ඇති ආදරය නිසා නොව තමන්ට දිනන්න නොහැකි බව යු.එන්.පී.යට තේරුම් ගිය නිසා බවය. ඔහු පොදු අපේක්ෂකයා නොවුණේ නම් අද සම්මුතිවාදී ආණ්ඩුවක් නැති බවද ඔහු කියා තිබිණි ශ්‍රී.ල.නි.ප.ය ආණ්ඩුවෙන් ඉවත් වුණොත් මෛත්‍රීපාල ජනපති බලාපොරොත්තු වන දේශපාලන වෙනස සිදුනොවනු ඇති බවත් ඔහු කීය.

මේ අතර රජය ගෙන ඒමට නියමිතව තිබෙන සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත සම්බන්ධයෙන්ද ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් විමසිලිමත් වන බව පෙනේ. ඔවුන් පවසන්නේ එහි බලතල අනුව සුපිරි ඇමැතිවරයකු නිර්මාණය වීමට ඉඩකඩක් ඇතිවන බවයි. මේ සම්බන්ධව ඩිලාන් ඩේලි මිරර් පුවත්පතට කියා තිබුණේ ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී අවස්ථා කීපයකදීම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවය. රජයේ සහ විපක්ෂයේ යන දෙපාර්ශ්වයේම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පවසන්නේ මේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත නොවිය යුතු බවයි. කලින් රජයේ බැසිල් රාජපක්ෂ වැනි තනතුරක් නිර්මාණය කිරීමේ උත්සාහයක් හැටියටයි අපි මේක දකින්නේ. එය ආණ්ඩුවට ප්‍රශ්නයක් වුණා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පරාජයටත් එය එක් හේතුවක් වුණා. ඩිලාන් කියා තිබිණි.

ඩිලාන් එසේ කිව්වද ඉරාන් වික්‍රමරත්න යූ.එන්.පී.ය වෙනුවෙන් පැවසුවේ එය බොරුවක් බවය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ බ්‍රහස්පතින්දා (15) පැවැති මාධ්‍ය හමුවේදී සුපිරි අමාත්‍යංශයක් හදන්න යනවාදැයි ඇසූ ප්‍රශ්නයට ඉරාන් මෙසේ පිළිතුරු දුන්නේය. වැඩ නැති අය බොරු කතා නිර්මාණය කරනවා. එවැනි දෙයක් සාකච්ඡා වී හෝ නෑ. එය සම්පූර්ණ බොරුවක්. ආණ්ඩුව ඇතුළේ එවැනි සාකච්ඡා නෑ. ඕවා මිනිසුන් නොමඟ යවන බහුබූත කතා. පනතක් ආවා. අවශ්‍ය නම් අධිකරණයට ගෙන යා හැකියි.

සුපිරි ඇමැති කතාව කෙසේ වුවත් රජය මගින් ප්‍රධාන පෙළේ ගිවිසුම්වලට එළැඹීමේදි විනිවිද පෙනෙන ආකාරයකින් ඒවා සිදු නොකිරීම ගැන ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ කනස්සල්ලක් තිබෙන පැහැදිලිය. දෙපැත්තේම මැති ඇමැතිලා වෙන වෙනම ආණ්ඩු හදන කතා ප්‍රසිද්ධියේ කියන්නේ මේ විනිවිද භාවයෙන් තොර වැඩ නිසාද විය හැකියි. ජනවාරි 08 වැනිදා එනම්, යහපාලන - සම්මුතිවාදී රජයට වසර දෙකක් පිරෙන දවස තීරණාත්මක දවසක් වීමටද ඉඩ තිබෙන බවක්ද පැවැසෙයි. හම්බන්තොට වරාය චීන සමාගමට පැවැරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප ඇමැතිවරුන් දැඩි ලෙස නිහඬව සිටින්නේද නිකම්ම විය නොහැක.

අගමැති රනිල් බ්‍රහස්පතින්දා (15) ප්‍රකාශ කර තිබුණේ මාගම්පුර වරාය ජනවාරි 07 වැනිදා චීනයට බාරදෙන බවය. නැව් එන්නේ නැතිව තිබූ මාගම්පුර වරායට බොහෝ අමාරුවෙන් නැව් හතරක් පහක් පෙන්වා ගත් බවත් මේ වගේ සිද්ධීන් ඇති වූ විට නැව් නොඑන බවත් අගමැතිවරයා කියා තිබිණි. හම්බන්තොට සිද්ධිය පිළිබඳව නාවික හමුදාපතිගේ වාර්තාව බාරගැනීමේ අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකර තිබිණි.

අගමැතිගේ ප්‍රකාශයට අනුව පැහැදිලි වෙන්නේ රජයට වසර දෙකක් පිරෙනදාට කළින් දවසේ මාගම්පුර වරාය චීනයට බාර කෙරෙන බවය. එම උත්සවය පැවැත්වෙනු ඇත්තේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විය යුතුය. එසේ වුවද හම්බන්තොට සහ චීනය සම්බන්ධ මේ ගනුදෙනුවලදී ජනාධිපතිවරයා කුමන ස්ථාවරයක් දරන්නේද යන්න පැහැදිලි නැත. රටේ සම්පත් විකුණා දැමීමට එරෙහිව එදා සිටම හඬ නංවන ජනාධිපතිවරයා මාගම්පුර වරායත් චීනයට භාරදීම දකින්නේ ඒ ආකාරයටම දැයි තවම කිව නොහැක. හිටපු ජනපති මහින්ද නම් එම ගිවිසුම රටේ සම්පත් විකුණාගෙන කෑමක් හැටියට හඳුන්වා දී තිබේ. 

මේ අනුව හම්බන්තොට වරාය චීනයට බාරදෙන දවස රජයටද තීරණාත්මක වීමට හේතු බොහෝමයක් පවතින බව පෙනේ. මාගම්පුර වරායේ හමන සුළඟ හැරෙන්නේ කාගේ පැත්තට දැයි දැනගෙන නැවේ සුක්කානම කරකැවීමට පියවර ගන්නේ ජනාධිපතිද අගමැතිද යන්න බලාසිටිය යුතුය.

ශශින්ද්‍ර